Showing posts with label අළු පාට ලෝකය. Show all posts
Showing posts with label අළු පාට ලෝකය. Show all posts

July 6, 2016

සොඳුර
ඔබ පැවසූ පරිද්දෙන්ම
මේ ලොව වඩා සුන්දරය
ඔබ සුවඳ තැවරූ බොහෝ තැන්වල
සිනාසී මල් පිබිදිණ

February 4, 2016

මා හදේ ශේෂ වූ සියම් ආනන්දය...
අත්ලට ගෙන ඔසුකොට...
සොවින් පෙළෙන ,
අනන්තවූ,
විශ්වයේ,
තවරමි...

October 26, 2015

ජීවිතය නිශ්ඵලයයි හැඟුණු අවස්ථා දෙකක් විය...
එකක්,
ඔබ මා වෙන්වුණු මොහොතය,
අනෙක,
මට මා මුණගැසුණු මොහොතය...

October 9, 2015

විශ්වයේ රෞද්‍රම බන්ධනයට හසුවී සිටියේය ඔහු...
ආදරය කිසිදා නොලබන්නට කවියෙක් ව සිටියේය ඔහු...

September 29, 2015

මා කවි ලියන කල අහස යට වෙහෙසින්
බලා හිඳියා ඈ තරුවකට වී රහසින්...

September 25, 2015

දිලෙන මුදු තාරකා බැඳී ළංවී,
රටා තවරා අහස්තලයේ
තමන් අසලින් හිඳින තරුවක,
නැත කිසිම තරුවක් විසින් දුටුවේ
ගයන මුත් නේක තුටු ගී,
නඟා සත්සර ගුවන් තලයේ
ඔබේ හදවත තනිව හඬනා,
සියුම් මුදු හඬ මට ඇසේ...

September 21, 2015

සබඳ මේ නුබගැබ
මහා හඬ දි මතුදින
මඟහැරී තනිවුණ
කවියෙක් සොයා - වැළපෙනු ඇත...

September 17, 2015

මළ හිරු සිඳු මත දුක දියකර හැරියාවේ
අඩ සඳ කඳු මුදුනේ සැඟවී හිඳියාවේ
තරු කැට එකිනෙක ගිලිහී පොළොවට වැටුනාවේ
ඔබ එන තුරු මා තනිවී සිටියාවේ

September 15, 2015

වතුසුද්ද මල් ගහක් යට
ඉඳුවා තිබෙන රතු රෝස මල් පඳුරක් වෙත
එහි හටගත් මල් පොකුරක් වැන්න
ප්‍රේමය...

September 11, 2015

වියළී ගිය වැලි කැට අතර නූපදින වග ප්‍රේමය
මඟ හමුවෙන අනන්ත වාරයක
පවසා තිබුණි සුළඟට!

---------------------------------------------------

අහස් දියෙන් පිරී ගිය
ඉතා විරල ඝන වළාකුලක්
ගසාගෙන විත් සුළඟට
මහා කතරකට හරි ඉහළින් නැවතී හිඳින!

මා සබඳ,
වළාකුල
පාවී පාවී යනු මැන ඈතකට
ඈතින් පෙනන මිටියාවත දෙසට

ගඟ දිය දොළෙන් පිරී ගිය
ඒ මිහිරි මිටියාවේ හිඳ
හෙලනු මැන තුටු කඳුළක්
නොපෙනෙනා මුත් මා නෙතට
ගයනු මැන තුටු ගියක්
තුරු වැල් මල් පඳුරු ගැන
නො ඇසෙනා මුත් මා සවනට

September 7, 2015

නුදුරු දිනෙක
මා නොදන්නා නුහුරු තැනක
ප්‍රාණය වියැකී ගිය මගේ මෘතදේහය
ඔබ යනෙනා අතරමඟ ඔබට හමුවෙයි...

අඩවන් සිනාවකින් සැරසී ගිය
මගේ සුදුමැළි මුහුණත දෙස
කුළුඳුල් සිනාවක් හෙළනු මැන

විසිවී ගොස් කැබලි වෙන්වූ
ඔබේ දයාබර මතකය
මිය යන මොහොතේ
අවසානයේ මට සිහිවිය

එතැන් පටන් ඔබ යනෙනා අතරමඟ
ඔබ හට තනියක් දැනෙනා මොහොතක
විසිරී හිඳින අහස දෙස බලනු මැන

අකාශය පුරා දියවී ගිය මගේ විඩාබර ආත්මය
වළාකුළකට නැඟ
සිසිලක් වී ඔබ සමඟ පැමිණෙනු ඇත.

September 2, 2015

යළිත් ඔබ පෙර මෙන් මෙහි පැමිණෙනු ඇත
මීදුම් සේළ අතරින්
මොළකැටි සුළඟක් සේ
පිණිකැට වැස්සක් සේ

August 5, 2015

නිල් අහස කොයිතරම් දුරයිද?
ඒ තරම්ම ඔයා මට ළඟයි...

June 26, 2015

සුවඳ මල් පිපී තිබිණ
වසන්තය පැමිණි දින...

එතැන ආදරය පිරී තිබිණ
ඔබ මා මුණගැසුණු තැන...

June 19, 2015

එවිට එය ආදරය මෙන්
ඔබට ඇසෙන්නට විය
සුසුමකින් ඔබේ හදවත
වෙලී තිබෙන්නට විය
ඔබත් මමත් අප දෙදෙන
අතීතයේ එක් දිනෙක
වයනු ලැබූ බටලී හඬක
කල්ප ගණනකට පසු ව
ඔබට එසේ අසෙන්නට විය...

June 15, 2015

සොඳුර,
ඔබ මා හදවත සිපගත් තැන
මා සිහිනෙන් අවදිව බලන කල
කවියක් ඉපැදී තිබිණ
ළපටි ව

March 30, 2015

දියවී ගොස් අහස් කුස,
වර්ෂාවෙන් හදවත පිරී ගිය සද,
ඔබ ගැන මතකය සිහිවී,
සිහිනෙන් මා හඬනා කල,
නෙතු අග මතු වූ කඳුලක්,
පුරන්වූ කතරකට බට,
මහා මේඝයකැයි ඔබ කීය....

March 18, 2015

තවත් වරක් අඳුරු වී සඳ,
පායා ඒ පසළොස්වක දින..
දෙබෑ කර හද අඳුර,
වලාකුලෙන් බැස එන්න...

December 8, 2014

සබඳ...
මට කවියක් ලියා දෙන්න...
මා වෙනුවෙන්...
මා එය මලක් කර ඇගේ හිසේ ගසන්නම්...
මෙතෙක් කල් මා...
ලියු කවි පරවුණා...

December 5, 2014

ගිනි රැසින් පිළිස්සී ගිය මහ පොළොව මත වර්ෂා ඇද හැලෙනු ඇතිය සිතා දෘඩවු පොළොව මත ප්‍රාණය ඉහිරවමි...

පිපාසයෙන් පත්‍ර වැහිරී ගිය වෘක්ෂ මත ලා දළු පිපෙනු ඇතිය සිතා කුශවූ වෘක්ෂ මත ස්නේහය තවරවමි...

ක්ලේෂයෙන් වැහිරී ගිය මිනිස් සිත් නිවී සැනසී යනු ඇතිය සිතා බොරවූ මිනිස් හදට ප්‍රේම කරමි...