March 23, 2023

ඉලූෂන්!

තිර ඇරී වැසෙයි
සිදුවීම් දිග හැරේ
එකම කතාව
එක එක විදියට
එක එක අයගෙන්
සමහර විට...
එකම අයගෙන්

 

ලියා එව්වේ - Hare :-)

March 20, 2023

දේශපාලනික හිරිකිතය

පත්කර යැවූ පසු රොත්තක් මනාප දී
එලවාගනු නොහැක පේනා කපේකදී
දෙස් පාලනය ගොහොරුවකැයි ගිගුම් දිදී
ගොඩ සිට විරිත්තාගෙන අප අරන් බුදී

මඩක ලගින හරකුන් ඇත සුදු ඇඳලා
වෛවාරන්න පාටට අපෙ හිත බැඳිලා
පාටින් හීන දකිමින් ඇස් අන්ධ වෙලා
ඉපදුන කරුම කියමින් යයි නාකි වෙලා

 

ලියා එව්වේ - Hare :-)

March 17, 2023

ඔබ ඇයගේ ලොවට

සිවිලිමේ එල්ලී කැරකෙන
විදුලි පංකාවේ වේගය
වෙනස් නොවේ
ඔබෙ සුසුම්වලින්

වෙන්ව යා යුතුයි දැන්
ඔබත් මමත්
ඇයගේත් ඔහුගේත්
ලෝකවලට

 

ලියා එව්වේ - Hare :-)

March 15, 2023

අමරණීය තාත්තා

මිය ගියද
උත්ථානය ලබති
පියවරු
දරුවන් ගැබ

කතා කරති
මග පෙන්වති
ඕනෑ නම්
කණට ගසති

 

ලියා එව්වේ - Hare :-)

March 13, 2023

සංගීතය සහ දහදිය

ගී කියයි හිමිදිරියට
පාන්දරට ඉර පායනකොට
පිණි දියවී යනවිට
පැයකට දෙකකට

අට නමය වෙනකොට
ගිණි සැරට අව්වට
ගී නැත ඒ වෙලාවට
දහදිය හැරුණුකොට

 

ලියා එව්වේ - Hare :-)

March 10, 2023

යුද්ධය අත්හල රණ විරුවෝ

යුධ ගින්නෙන් මියැදෙනවුන් ගණන් දෙමින්
ගෙවු අතීත මතකය යලි අවුළුවමින්
නැවතත් මිය යයි වැසියන් පවුල් ලෙසින්
ජීවත් වීමේ යුද්ධය දිග් ගැසෙමින්

ජීවිකාව ගෙන යන්නට හැකි නැත්තේ
වැටුපක් කුලියක් උපයන්නට නැත්තේ
දරුවන් හඬන හඬ රැව් දෙන කන් මත්තේ
ඉවසාගන්න බැරි සීමාව ඉස්මත්තේ

 

ලියා එව්වේ - Hare :-)

March 1, 2023

ලන්ච් රූම් ප්‍රේමය

උදයෙත් දහවලෙත් ඇය මේසෙක එපිට
බත්මුල ලිහයි නිහඬව ඇයගෙම ලොවක
ලන්ච් රූමයේ වෙනකෙකු නැති අවට
ඇගෙ හැඩ විඳිමි මෙහි සිට මම ඇස් අගක

ඇගෙ කුසගින්න මට කුසගිනි වෙලාවෙම
දැණුනේ කොහොම මගෙ සිතුවිලි පුරා මම
හිත යට සිට නැගෙන පිබිදුම තලා බණ
ආදරේ ඇත්තෙ බඩවල අපෙ sync වුණ

 

ලියා එව්වේ - Hare :-)