June 29, 2015

ඔබේ ප්‍රේමය ඉවසමි

හිතවත,

ඔබේ ප්‍රේමය ඉවසමි
හැබැහින්
විසිකරලනු සවියක්
නැති හෙයින්....

අසමි මගේ රුවගුණ
හිලව්වට
මගේ දුක් ගී ඔබ
ඇසුව ණයට....

කියමි දවසේ කතා
නැතිකමට
මට සවන්දෙන
වෙනත් කෙනෙකු....

අගයමි ඔබේ ‍වෙහෙස
මා වෙනු‍වෙන්
කැපවෙන
ණයබර වැඩිකරන....

සිතමි ඔබේ පව
කවරදැයි
පෙම් කෙරුමට
මේ මෝඩ කෙල්ලට....

June 26, 2015

සුවඳ මල් පිපී තිබිණ
වසන්තය පැමිණි දින...

එතැන ආදරය පිරී තිබිණ
ඔබ මා මුණගැසුණු තැන...

June 22, 2015

ඔබට ප්‍රේම කිරීම
පුරුද්දකි
දිනපතාම
හිත කලඹවන
රහසකි....

ඔබට වසග වීම
මිහිරකි
ගැඹුරින් ම
හද කිතිකවන
හැගුමකි.....

බලා සිටීම
ශාපයකි
වේදනාවෙන් ම
සිත නිදිකරන
දඩුවමකි....

June 19, 2015

එවිට එය ආදරය මෙන්
ඔබට ඇසෙන්නට විය
සුසුමකින් ඔබේ හදවත
වෙලී තිබෙන්නට විය
ඔබත් මමත් අප දෙදෙන
අතීතයේ එක් දිනෙක
වයනු ලැබූ බටලී හඬක
කල්ප ගණනකට පසු ව
ඔබට එසේ අසෙන්නට විය...

June 17, 2015

මම

නෙත් කෙවෙනි
තෙමාලන
කඳුලක්ව ඉපදුණත්
සිනහවක් ලෙස වැඩී
දකින්නට වෙරදරමි
ලෝකය....

June 15, 2015

සොඳුර,
ඔබ මා හදවත සිපගත් තැන
මා සිහිනෙන් අවදිව බලන කල
කවියක් ඉපැදී තිබිණ
ළපටි ව

June 9, 2015

මැට්ටි..

දාල යනවා කිය කියා
හැමදාම ළඟින් ඉඳලා
දවසක
කියන්නෙම නැතිව
ගියා නේද?
මැට්ටි

June 5, 2015

සර්ව සම්පුර්ණ හීනයක්.....

ඔහු නොපවතින
ඔබ මා පමණක්
තනිව වන
සර්ව සම්පුර්ණ 
හීනයක්.....

පාට නොපෙනෙන
කළු සුදු පමණක්
ඇසට වන
ලොවකට විරුද
ප්‍රේමයක්.....

අපි දිය වී යන
මා පමණක්
හුස්ම හෙලන
ඔබට උරුම
හදවතක්....

June 3, 2015

මම තනි නොවෙන
මම ඔබේ වෙන
එක මොහොතක්.....

ඔබ ඔහුගේ නොවෙන
ඔබ මගේම වෙන 
මොහොතක්....

තත්පරයකින් සීයෙන් පංගුවක්
දිගයි ජීවීත කාලයකට 
වැඩියෙන් ටිකක්...