November 30, 2012

පොද වැස්ස...

චුරු චුරු ගාන වැහි බින්දු අස්සෙන්
සුළඟකුත් ගත වැදේ මයිල් ගස් ඉස්සෙන්
ලාවට මත් වෙන්න ඇත්නම් මල් පුස්බෙන්
කවි පොත් පිරේ තීන්ත කූඩු සිස්වෙන්

November 29, 2012

ගෙවලා නෑ කියලා
''ලයිට්'' බිල ගිය මාසේ
කපනවලු අද හෙටම
ලයිට්.....

ඉතින් මං පටස් ගාලා
ගිහින් මගේ ''ලම්බෝගිනියේ''
ගෙව්වා ''භාගයක්''
බිලෙන්......

November 28, 2012

Beach Couples

ඒ අප නොව බව
නොම දැන මහ සිඳු
රිද්මය නංවයි
පෙර ලෙස රළ බිඳ..

November 26, 2012

අප්පච්චි ලා.....

ගිනිගහන අවුවේ
කුඹුර මැද්දේ ඉදගෙන
කරේ තියෙන ලේන්සුවෙන්
දාඩිය පිහිදන මගේ අප්පච්චි,
රූප පෙට්ටියෙන් මතුවෙලා
කූල් කරපු කාමරයක් අස්සේ ඉදගෙන
ගොවියගේ ප්‍රශ්න විසදන්න
බොරු පොරොන්දු දෙන
ආඩම්බරකාර අප්පච්චිට වඩා
සිය දහස් ගුණයක්
උඹව මට වටිනවා.....

November 23, 2012

කූඩැල්ලා

අවුරුදු තුනක් තිස්සේ
ලේ බිබී ඉදපු කූඩැල්ලා
තත්පර ගානකින් ගලවලා
විසික් කරලා දැම්මා
ඒත්,
තුවාලේ තාමත් තියෙනවා....

November 21, 2012

සකිසඳ මගේ පැතුම

රනින් රුවක් නැති නිසාද?
නුඹ මාගෙන් දුරු වුයේ...
පබාවතීය සේ නොවුනට
මාත් දැකුම්කළු නොවේද?
දැලි අඟුරින් පාට කෙරුව
සුදු පාටින් සිනාසලන
අවිහිංසක මුවමඬලක්
මටත් උරුම වු නිසාද?
පෙර කර කර්මයට ඉතින්
මා වැලපී පලක් වේද?
මගේ සොඳුරු සකිසඳ හෙට
පබාවතීය ලැබෙන ලෙසට...
කුස කුමරුගේ කුලෙන් උපන්
පතනෙම් මම් මේ භවයේම...

November 19, 2012

ආයෙමත් ඒ තරු

දල්වමින්
ජීවිතේ සැණකෙළි
අහස සිපගත්ත සේ පෙණුන
මල් වෙඩිලි
නිවී ගිය ඉක්බිති

මෙන්න යළි
අතීතෙට අයිති
අර
මලානික තරු කැබළි

November 17, 2012

ගුරු (නොගැයූ)ගිතය

දින දෙකක් ගෙවී
ඒ දෑස ගිලිහී
අදවත් ඒවි දැයි
බලයි මා විපරමින්
....................
එසේ නොසිතන්
නුඹ මාගේ අල්තීනායි
එහෙත්....,
නොවෙයි මා තවත්
දුයිශෙන් කෙනෙක්..

November 16, 2012

ජෙනරේටර්

ළමයි පොලිමට හදාන
උන් කටවල් පුරවන්නට
උඹේ විනෝදේ පිරිමහන්ට
රෑට තැලෙන මගේ තුනටිය
යකඩ කියලා හිතුවද උඹ

November 14, 2012

ගිණි හාදු

කඳුළු වැනි පිණිකැට
සිනහ වෙයි අහසට
රවී දෙවී එබී මුවවට
රැස් හාදු පුලුස්සන තුරු
කිසි නොදත් හිත

November 13, 2012

මිනිස් අවශ්‍යතා

නියගය පැවතී සමයේ
මහ වැසි ඉල්ලූ මිනිසා
මහ වැසි ඇද හැලෙද්දී
නියගය සැපයි යැයි සිතූ කල
මිනිසා කෙතරම් මුග්ධයෙකු දැයි
දෙවියන් තේරුම් ගත්හ...

(සැබෑ මිනිස් අවශ්‍යතා දෙවියන්වත් තේරුම්ගෙන නොමැත)

November 12, 2012

කිව්වට නාහන ගුරු

උඹට තවම
උඹත් එක්ක ජීවිතේ
බෙදාගත්තු එකාගේ
අගේ දැනෙන්න
ගත්තේ නෑ..,

ඒක දැනෙන්න
ගන්නකොට
උඹ පරක්කු වැඩියි
උඹටම
දුක හිතෙයි
උඹගැන එතකොට

November 9, 2012

අපේ දේ අගයමු AKA ගන්න අපේ දේ..

මේඩ් ඉන් චයිනා
පොලියස්ටර්
කොඩියක් වනමින්
තාලෙට ගයමින්

මම කෑ ගැහුවා
ජපන් ටීවී අස
සිරිලක දිනවා
ජය පැන් බොන්නට

November 7, 2012

නෙළුම්පත්

යාත්‍රා බඳක
එල්ලෙයි නෙළුම්පත්
ගසා යනු රිසි ව

November 5, 2012

සඳ හා හද

උණුසුමට එකතුවන
සීතලට ගුලි ගැසෙන
මේ පුංචි සඳවතට
විදවිම පමණමද...?

November 2, 2012

මම

පේරැසක මහා බරට
ජිවිතය සනසන්න
දුක් ගීත ගයමින්ම
ඉකිගසන කෙවිලියකී....