December 9, 2019

කුරුලු හදවත

සොඳුර මා හෘදයේ මැහුම් පට තද කරගනිමි
දෙදරීමකට මග අවුරමින්
අපේ කතාව කුරුටු ගෑවෙන තරමට
පසෙකටව ඉඩ දෙමි නුඹට අහසේ සරන්නට

September 6, 2019

හේදෙන හිත

බස් රියේ වීදුරු ජනේලයෙ පිට පැත්ත
සෝදමින් ගලන ඝන වැසි දිය
හිත මතින් ගලා මතු කරයි අතීතය
හේදීම යන්නට දෙන්න ඕනෑ එයට

September 5, 2019

වරද

බුබුළු ලා කැකෑරෙන
වරද කළු කරයි හිත
දැවි අඟුරු වන තුරුම
අඳුරටම ඇදගෙනම

August 22, 2019

අමිත් ද සංඛ

වතුරට වැටුණි දඟලමි පීනනු බැරිව
විහින්ම ලියූ නව ගීයක් අත ඇතිව
ගයනෙමි පැරණි තාලෙට ගිය අමතකව
පිහිනා එගොඩ දැක එන තෙක් ඉන්ට දෙව

August 21, 2019

ස්පෝර්ටි!

එක්සයිස් කර හදාගත්
කඩවසම් සිරුරැති
ක්‍රීඩකයින්ට හුරේ දමයි
බීම බොන කෑම කන
ක්‍රීඩා ලෝලීන් තරබාරු

August 20, 2019

ඡන්ද සූරක

ඇසෙයි ආයෙත් පැයේ කණිසමක්ව
බුද්ධියට අමතන ඒ මායා වදන
අරක්කු කාලට මාමක හදවතට
හසු නොවී පාවෙන්නන් අමතන

වෛවර්ණයෙන් සුමට අකුරින්
මිටි පිටින් මුද්‍රිතව බෙදෙන
පසුව කුණු ව රීසයිකල් වන
කියවන්න ප්‍රතිපත්ති ප්‍රකාශන

August 2, 2019

උඹ වගේම එකෙක්!

ඕනෑ වී නැද්ද උඹට
උඹ වගේම එකෙක්
උඹ දන්න දේවල්වලට පෙරේත
උඹටත් පෙරේත හිතෙන දේ දන්න
උඹව වටේ යවන ගමන්
ඌත් වටේ යන
දෙන්නම සෙට් වෙන තැන
අනිත් උන්ට නොතේරෙන
රස ලෝකයක් මැවෙන
ඕනෑ නැද්ද උඹට
උඹේ රහම තියෙන එකෙක්
තනිව දරාගෙන ඉන්න
හැමදේම බෙදාගන්න

May 30, 2019

වැලපිල්ල ඇවිලිල්ල


පිපිරෙන
කූඹින් පළඟැටියන්...
උන් ගැන දුක් වෙන්න
එන්න
මේ ගිණ්න අවුළුවන්න
ඇවිලිලයි වැලපිල්ලයි
දෙකක්


April 14, 2019

අවුරුදු ෆිසික්ස්


මේ අවුරුදු කාලේ
කටේ කලු කුහර
ඊට පසු පණු නාල

කොකිස් නෙබියුලා
කැවුම් ග්‍රහ මණ්ඩල
දොදොල් අඳුරු පදාර්ථ
ආස්මි මන්දාකිණි
පොකුරු පිටින්

නැතිනම් පුකේ
සුදු කුහර
ඇඟයි වෙන්නෙ
ප්‍රසාරණය



April 11, 2019

වෙඩිම

මං ආදරේ කරන...
දරුවෙක් එක්ක හරි
මං බාරගන්න කැමති
කෙල්ලෙක්
මගෙන් අහනකොට
කවද්ද වෙඩිම ? කියලා...
දෙන්න හිතෙනවා දෙකක්
හොම්බ තැලෙන්න
ඒකිට තියෙන ආදරේ
පැත්තක දාලා

February 13, 2019

ආදරෙත් කළු කුහරයක්


කළු කුහරයක සිද්ධි ක්ෂිතිජයෙන් (event horizon) එපිට
දන්නා භෞතික විද්‍යා නියම බිඳ වැටෙයි...
ජීවිතේ ගැන දරන මතවාද අදහස් සියල්ලත්
හිත මත් කරන ආදරයකින් බිඳ වැටෙයි...
ආදරෙත් කළු කුහරයක්