May 29, 2015

අනුරාධ මම නුඹේ රාධිකා

ආදරේ නාමයෙන්
නුඹව විශ්වාස කර
නුඹ සමග නිදි වැදුණු
අනුරාධ මම නුඹේ රාධිකා

නිරුවත්ව කාමරේ
මගේ මුළු ජීවිතය
නුඹේ අත තියද්දී
මොන නරුම හිතකින්ද
හංගලා කැමරාව
වීඩියෝ කෙරුවෙ නුඹ

සීතලේ පොළව යට
අද තනිව නිදන්නෙමි
අතීතය ගැන සිතා
තවම පසුතැවෙන්නෙමි
දිරාගිය ඇස්වලින්
කඳුළු උගුලුවන්නෙමි

May 27, 2015

මරණය

කීප සැරයක්
දඟල දඟලා
වළකවද්දිත්
ඇවිල්ලා
වැලඳ ගත්තා
නේද මරණය
පුංචි
කුරුමිණියෝ....

May 25, 2015

දැනෙන දුක

පහන් එළි නිවෙන විට
දැනෙන දුක මළුවකට
දැනෙනවා හදවතට
නුඹ ළඟින් නොමැති විට....

May 22, 2015

නුඹ

නිහඬ වූ විට ඇසෙන
සුපෙම්බර කවිය නුඹ
නෙත් පියූ විට ඇඳෙන
සුපෙම් සිතුවමකි නුඹ

May 20, 2015

පහන් සිල

පහන් වැටියෙහි 
දෙපා බැඳ ලූ
කසා වර්ණැති
සමනලයෙක්ද
පහන් සිල
ඉගිල යන්නට තටු ගසන

May 18, 2015

බණ

කහ සිවුරින්
නඩු  කිව්වට
මහ වෙහෙරට...
අපිට වඩා
නුඹ ඈතයි
අමා නිවනට...
බණ දෙසුවට...

May 15, 2015

ලොවට නොකියා පද ගලපගත්
අසම්මතයේ පෙම් කවිය නුඹ.....
පදෙන් පදයට ගැඹුරු අරුතින්
සිතම සනසන සෙත් කවිය නුඹ.....
දිනක යම්කිසි වරදකින් සුළු
ලොවම වනසන වස් කවිය නුඹ........
ඉතිං කුමකට කවිය වී ඔබ
සදා නොලියූ කවිය වනු ඔබ......