July 31, 2015

කවි ලියන්න මම

කවියක් ලියන්න
පෑන කටේ දාගෙන කල්පනා කලත්
ඔලුවෙන් හිටගෙන කල්පනා කලත්
ඇස්දෙක පියාගෙන කල්පනා කලත්
මතක් වෙන්නේ එකම දෙයයි..
උඹ....
කොහේදෝ ඉදං ඇවිත්
ආදරෙයි කියලා අමුතුම ලෝකෙක අතරමං කරලා
උඹ හෙමීටම මාරු වෙලා...

July 29, 2015

හැබැහින් එන්න බැරි ඒකය

සිහින ඇතුලට නිතර හිස පොවමි.
දිවා සිහිනෙක රෝස පැහැයෙන් මත්වෙමි.
දිගැටි ඇහි දාර අග සරන්නෙමි.
බුහුටි අතැඟිලි අතර වෙලෙන්නෙමි.

අත්ල හොඳටෝම සීතලය
හැබැහින් එන්න බැරි ඒකය.
නොලියු කවි වැඩියෙන් රස ය.
ඇල්පෙනෙති තුඩුද මල් පුබුදා ය.

July 27, 2015

සරත් රැය

තාරුකා පවා
රහස් මුමුණන
සරත් රැය

July 24, 2015

දුම් රළකි පැල්පත් පියස්සේ

පිණිති වැහි අස්සේ
ලපැටි තේ දළු ගැස්සේ
කඳු හිස් අගිස්සේ
දුම් රළකි පැල්පත් පියස්සේ

July 22, 2015

කවුද අකැමැති
අරලිය මලක සුවඳට
සුපෙම් සුභ පැතුමකට
නොපිබිදෙන
කවියා කවුරුද?

July 20, 2015

ආදරේ සුනාමිය

ආදරේ සුනාමිය
හිසට ඉහලින් විහිදුනි
ඇහැට ලුණු දිය මුහුවුනි

හුස්ම ගන්නට අමතකව ගිය
තත්පරේකින් කාලක
දිය පිරී පෙණහළුද බරවුනි
"පටස්" ගා සිහිනයක් පිපිරුනි!

July 17, 2015

ජිග්සෝ ප්‍රහේලිකාවකි මම

බොකුටු හිසකේ රොදක්
මහ ගැඹුරු ඇස් දෙකක්
මන්දස්මිතයක් - කැතම කැත කැප් තොප්පියක්
සදහටම ගැලැවි ගිය
ජිග්සෝ ප්‍රහේලිකාවකි මම
දන්නෙවත් නෑ වගේ කොස්සන් හිනා පුපුරවන
පාලු හිස්තැන් තාම ඉඳහිට අතගාන

July 15, 2015

අතීතය

හිතුවෙ නෑ කීයටවත්
හිත රිදවන්න පුළුවන් කියලා
බස් ටිකට් එකකටත්...

July 13, 2015

හත්පෙති

ශේන්යා,
උඹේ පැණි වළලු කන්නට
කෙළ හලන බල්ලන්
නිදැල්ලේ

හත්පෙති මල් පරවෙලා
දැන් බොහෝ කල් නෙව
කෙල්ලේ

July 10, 2015

මල්වෙඩි

එක්වරම හදවතේ මල්වෙඩිල්ලක් පුපුරන
දහස් ගණනක් මතක කැබිලිති ඇවිලෙන
"සූස්!" හඬකින් දැවී උණුවෙවී බිම වැටෙන
මූසලම පාළුවක් පමණක් ශේෂ වෙන

July 8, 2015

පින්තූර

මදක් අවපැහැ වුව,
කලකට ඉහත විසි කල,
පින්තූරයක් ඇත තව,
කනප්පුව යටින් එබි එබී මග බලබල...!

July 6, 2015

බැරිම තැන අසමි.....

ඉස්සරම ඉස්සර ලෝකේ
පටන් ගත්ත දවස්වල
තරු පිපිරුණු වැසි වැටුනු
හිම වැටුනු දවස්වල
තැනක් නැතුව හදත් ඇවිත් 
නතර වෙච්චි දවස්වල
හරියටම මේ විදියට වෙන
ප්ලෑන ගහපු දවස්වල

ඔක්කෝම රාශි එකතු
කරපු කෙනා 
ගානට පිලිවෙලට 
තියපු කෙනා
කැරකෙන වේගේ
හදපු කෙනා
කේන්දරේ කොටු ටික
ගහපු කෙනා

පාගාවක් අල්ලසක් ජරාවක්
අරන්වත්ද
ආදරේට ලෝබකමක් ඉරිසියාවක්
හිතිලවත්ද
කවුරුන්හෝ කපන්න මා
කිව්වාවත්ද
නුඹ වෙනුවෙන් හිතක් එහෙම
පහලවෙලාවත්ද

සිකුරු තිබ්බේ ගොඩක් දුරින්
තරහටද
කේතු ආවේ මාත් එක්ක
ෆිට්එකටද
ඉරි ගහලා කොටුඇන්දේ
කහනවටද
නැන්දම්මේ ඕවා බැලුවේ 
පිස්සුවටද????

July 2, 2015

අත් 16 දෙවියන්ගේ පරිණාමය

වැඩි ගණනක් සාක්කු
හිස් කරන්නට තැත් කළ බැවින්
අත් කීපයක් වැඩෙන තරමට
අද වෙනකොට පරිණාමව

July 1, 2015

(වි)සම ලිංගික

සම්මතය
බහුතරය
සුළුතරය
හැතිකරය